දරු ප්‍රසූතියෙන් පසු උදරය නෙරා එනවා නම් .........

Related imageදරු ප්‍රසූතියෙන් පසු සමහර කාන්තාවන් ස්ථුලත්වයට පත් වෙනවා. ඒ වගේ ම මේ අයගේ උදරය ඉදිරියට නෙරා ඒමත් සිදුවිය හැකියි. මෙය කාන්තාවකගේ රූප ශෝභාවට තර්ජනයක් වන්න පුළුවන්. ඒ වගේම මේ ගැන සිතීම පවා ඇයට හිදරදක් විය හැකියි. මෙවැනි කරුණු පිළිබඳ, ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය යූ. ඩී. පී. රත්නසිරි මහතා සමඟ කළ කතාබයකි මේ.

ගර්භනී අවධිය කියලා කියන්නෙ ශරීරයේ සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස්වීම් ඇතිවන කාලයක්. මේ පිළිබඳ ඔබ දක්වන්නෙ මොනවගේ අදහසක් ද?

සාමාන්‍ය කාන්තාවකට වඩා ගැබිනි මවක් වූ විට ඇගේ සිරුරේ විවිධ වෙනස්කම් සිදු වන්න පටන් ගන්නවා. සිරුර සාමාන්‍ය තතත්වයට වඩා වෛනස් වීමකුයි මෙහිදී සිදු වන්නෙ. ක්‍රම ක්‍රමයෙන් ගර්භාෂය විශාල වීමක් සිදු වෙනවා. මෙසේ වන්නේ මේදය තැන්පත්වෙලා බර වැඩි වීමත්, දරුවාගේ වර්ධනය ක්‍රම ක්‍රමයෙන් සිදු වීම, ගර්භාෂය වර්ධනය වීම හා රුධිරය වර්ධනය වීම යන කරුණු කාරණා හේතුකර ගෙනයි. මේ සියලු දේ ස්වභාවිකවමයි සිදු වන්නෙ.
සමහර කාන්තාවන්ගෙ සිරුර ගර්භනී සමයේදී සාමාන්‍ය තත්ත්වයට වඩා අසාමාන්‍ය විදිහට වර්ධනය වන්න පුළුවන්. මේ අසාමාන්‍ය ස්ථුලතාව පාලනය කිරීම වැදගත් වන්නෙ කොහොමද?
කාන්තාවක් ගර්භණී වූවාට පසු, බර වැඩිවිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් බර වැඩි වීමක් සිදුවනවා නම්, එය අසාමාන්‍ය තත්ත්වයක් බව වටහා ගත යුතුයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ ගර්භනී අවදියේදී කෙනෙක්ගෙ බර වැඩිවෙලා, දරු ප්‍රසූතියෙන් පස්සෙ බර යථා තත්ත්වයට පත්වීමයි. මේ නිසා ගැබිනි සමයේ දී ආහාර ගත යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දේ පමණයි.

දරු ප්‍රසූතියෙන් පසු සමහර කාන්තාවන්ගෙ උදරය , අනවශ්‍ය ආකාරයට ඉදිරියට නෙරා එන්න පුළුවන්ත. මෙය කාන්තාවකගේ සිරුරේ හැඩයට, අවලස්සන වීමට හේතු විය හැකියි. මේ ආකාරයට උදරය නෙරා ඒමට බලපාන්නේ කුමනාකාරයේ හේතු සාධකද?

ගැබිනි මවක් වූ විට උදරයේ පෙශී ඇදීමකට ලක් වෙනවා. ඒකට හේතු වන්නේ දරුවා මෝරන්න මෝරන්න, දරුවාගේ වැඩීමට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය වැඩි වීමයි. එහිදී උදර බිත්තියේ පේශි හා පටක ඇදීමක්, ඈත් වීමක් සිදු වෙනවා. කාන්තාවකට ලැබුණු දරුවන් ප්‍රමාණය වැඩි නම්, උදර බිත්තියේ පේශී හා පටක ඒ සෑම අවස්ථාවකම ඇදීමකට ලක්වන නිසා දුර්වල වන්න පුළුවන්.
ඒ වගේ ම ලැබෙන දරුවන් නිවුන්නු වුණොත්, එක දරවෙක් ලැබෙන්න ඉන්නවාට වඩා, ගර්භාෂයේ ඉඩකඩ දරුවන් දෙදෙනා වෙනුවෙන්ම වෙන් වෙනවා. මේ නිසා සිදුවන්නෙත් උදර බිත්තියේ පේශි හා පටක ඇදීමකට ලක්වීමේ ප්‍රමාණය වැඩි වීමයි.
ඒ වගේම ලැබෙන්න සිටින දරුවා විශාල නම් ඒත් සිදු වන්නේ මේ තත්ත්වයමයි. මේ වගේ අය තටමත අවස්ථාවලදී වගේ ම කහින විටදීත් , උදරයේ පේශි දුර්වල වීමට මෙන්ම පේශී බුරුල් වීමට තිබෙන සම්භාවිතාව ඉතාමත් ම වැඩියි. ඒ නිසාත් උදරය ඉදිරියට නෙරා ඒමට පුළුවන්.
එසේ ම උදරය විශාල වීම සඳහා එහි මේදය තැන්පත්වී තිබීම බෙහෙවින් ම බලපානවා. ඒ වගේ ම පෙකනිය අවට වන හර්නියා තත්ත්වයන් නිසාත්, උදර කුහරය නෙරන්න පුළුවන්. මේ නිසා තමන්ගේ රූප සොබාවට හානි විය හැකියි. ඒ නිසා උදරය නෙරා ඒම පාලනය කර ගැනීමට මුල් කාලයේ සිට ම කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක්.

ගැබිනි මවක් අනාගතයේදී සිදුවිය හැකි මේ තත්ත්වයෙන් මිදීම සඳහා ආහාර පාලනය කරන්න ඕන කොයි විදිහට ද?
තෙල් ආහාර වැඩිපුර කෑමට ගන්නා අය එම ආහාර වැඩිපුර නොගෙන සාමාන්‍ය ආකාරයට ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේ ම අනවශ්‍ය විධියට පිෂ්ටය සහිත ආහාර නොගැනීමත් මෙහිදී වැදගත්. විශේෂයෙන් ම ගැබිනි මවක් වූ විට සමබර ආහාර වේලක් ගැනීමට පුරුදු වීම වැදගත්... එසේ නොකර පිෂ්ටය සහ මේදය සහිත ආහාර ගැනීමෙන් සිදු වන්නේ අනවශ්‍ය ආකාරයට මේදය තැන්පත් වීම හේතුªකරගෙන, දරුවන් ලැබිමෙන් පසු උදරය ඉදිරියට නෙරලා අවලස්සන වීමයි. මේ නිසා ගර්භනී මවක් විධිහට තමන්ගෙ ආහාර පාන රටාව පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටීම වැදගත් .

ව්‍යායාම කිරීම මෙයට බලපාන්නෙ කුමනාකාරයටද?

ගැබිනි මවක් විධියට ව්‍යායාමවල නිරතවීම, දරුවාගේ වර්ධනයට බෙහෙවින් ම බලපානවා. මේ නිසා ගර්භනී සමයේදී, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණියගේ උපදෙස් මත හෝ වෛද්‍ය උපදේශ අනුව ව්‍යායාමවල නිරත වීම ඉතාමත් ම වැදගත්.
ඒත් ව්‍යායාම කරනවා කියලා හති වැටෙනකං ම ව්‍යායායාම කිරීම සුදුසු නෑ. සාමාන්‍යයෙන් දිනකට විනඩි 20 ක් වගේ ව්‍යායාමවල නිරතවීම ප්‍රමාණවත්. ඇවිදීම, පිහිනීම වැනි සරල ව්‍ය්‍යායාම කෙරෙහි නැඹුරුවීම මඟින්, සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබාගත හැකියි.

මීට අමතරව දරු ප්‍රසූතියකින් පසු උදරය නෙරා ඒම වළක්වා ගැනීමට පිළිපැදිය යුතු කරුණු මොනවාද?


ගැබිනි මවක් වීමට පෙර සිට ම තමන්ගේ ශරීර බර ප්‍රමාණය සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගෙන යාමට කටයුතු කිරීම කාන්තාවකට වැදගත් ම දෙයක්. ඒ වගේ ම කල් පවතින කැස්ස, පෙනහළු ආසාදන, මළබද්ධය වගේ තත්ත්වයන් තිබේනම්, ඒවා වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ වගේ ම දරුවා ලැබුණු පසු උදරය නෙරා ඒම වළක්වා ගැනීම සඳහා ව්‍යායාම වගේ ම ආහාර පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. විශේෂයෙන් ම මේදය සහ පිෂ්ඨය අඩංගු ආහාර ගැනීම මේ තත්ත්වය වළක්වා ගන්නට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම උපතින්ම උදරයේ පේශී ශක්තිමත් නැති අය සිටිනවා. ඒ වගේ අයගෙන් උදරය ඉදිරියට නෙරා එන්න තිබෙන ඉඩකඩ වැඩියි.
සාමාන්‍ය දරු උපතක් නැතිව සැත්කමක් මගින් දරු ප්‍රසූතියක් සිදු වූ විට උදරය නෙරා ඒම වැඩි බවට මතයක් පවතිනවා.
මෙහි කිසිම සත්‍යතාවක් නෑ.
Belt දරමීම උදරය නෙරා ඒම වළක්වා ගන්න භාවිත කරන්න පුළුවන් ක්‍රමයක් නේද?
එය තාවකාලික ප්‍රතිකර්මයක් පමණයි. Belt එක ගැලෙව්වට පස්සේ නැවත උදරය නෙරා ඒමට පටන් ගන්නවා. මේ නිසා මෙවන් අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීම ඉතාමත් ම වැදගත් .

No comments:

Post a Comment